එක දවසක් මහන්සි වෙලා කරන්න පුළුවන් ලේසිම වගාවක් තමයි හතු වගාව.
අවශ්‍ය ද්‍රව්‍ය
- අඹ, කොට්ට, රබර් වගේ සැහැල්ලු ලී වර්ගයක ලී කුඩු. ලී කුඩු නැත්නම් වියලි බඩඉරිඟු ගස් කුඩා කැබැලි වලට කපලා ගන්නත් පුළුවන්. බොල් වී ගන්නත් පුළුවන්. සමහර අය කඩදාසි, කාඩ්බෝඩ්, පොල් හනසු වගේ දේවලුත් පාවිච්චි කරනවා. හතු කියන්නේ පුස් වර්ගයක පිපෙන මලට. ඒ නිසා පුස් කන ඕන දෙයක් යොදාගන්න පුළුවන්. මේවායේ මිශ්‍රණයක් ගන්නත් පුළුවන්.

- අළුහුණු
- හතු බීජ. මේවා විකුණන කඩයකින් ගන්න වෙනවා. බීජ කිවුවට ඔබට ලැබෙන්නේ පුස් කෑ වී ඇට මල්ලක්. ඒ පුස් තමයි මේ වැඩේට ඕන.

- අඟල් 4-6 විතර කට තියෙන අඩියක් විතර දිග විනිවිද පෙනෙන පොලිතින් උර.

මීට අමතරව හතු වගා කරන අය අස්වනු වැඩි කරගැනීමට පහත දේවල් යොදනවා. ඒවා අත්‍යාවශ්‍ය නෑ.
ජිප්සම්
මැග්නීසියම්
කැකුළු හාල් පොලිෂර් කුඩු
නිවුඩු හාල් පිටි
දහයියා (සවිවර බව වැඩි කිරීමට)
ක්‍රමය
- ලී කුඩු උරයක් සමතලා බිමක දමා ඊට අළුහුණු 200g පමණ මිශ්‍ර කරන්න. මල් බාල්දියකින් වතුර ඉහමින් හොඳින් මිශ්‍ර කරන්න. ලී කුඩු මිටක් ගෙන තද කලවිට, එකට ගුලි නොවී පහසුවෙන් කැඩෙන සුළු නම්, ඒ තමයි හරි පදම. මිටි කල විට වතුර බේරෙයි නම් ඒ වතුර වැඩියි. සාමාන්‍යයෙන් පිනිබාපු ලී කුඩු ගොඩක තියෙන තෙතමනය තිබුනාම ඇති. වතුර වැඩි කරගන්න එපා.

- මිශ්‍රණය පොලිතින් උර වලට තද කරමින් පුරවන්න. මේ සඳහා හිස් වීදුරු බෝතලයක් උරය තුලට දමා කෙටීම කල හැක. ඉන්පසු උරයේ කට රෙදි පටියකින් ගැට ගසන්න. රබර් බෑන්ඩ් දාන්නත් පුළුවන්. වතුර වැඩි වුනොත් ඒවා උරේ අඩියට බහිනවා. ඒවා අයින් කරන්න වෙනවා.

- මේ උර පැය 4ක් පමණ හුමාලයෙන් තම්බා ගත යුතුයි. ඒ සඳහා ලොකු රාස්පානකට වතුර අඟලක් පමණ දමා එතුල ලැල්ලක් වැනි යමක් තබා සකස්කරගත් ඇටවුමක් භාවිතා කල හැකියි. පියන වසා තම්බා ගන්න. සැ.යු. පොලිතින් උර භාජනයේ බිත්ති වල ගෑවීමෙන් ඒවා උණු වී යා හැකි බැවින් ඒ අතරට රෙද්දක් යෙදීමෙන් බිත්තියෙන් වෙන් කර තබන්න. භාජනයේ වතුර හිඳෙන්න දෙන්න එපා.



- තැම්බීමෙන් පසු භාජනය තුලම පැය 12ක් පමණ නිවෙන්න තබන්න.
- හතු බීජ මල්ල අතින් හොඳින් පොඩි කර එහි එකට ඇලී ඇති වී ඇට හොඳින් වෙන් කරගන්න.
ජීවානුහරණය කරගත් උර එකින් එක ඉවතට ගෙන කට මදක් විවර කර, පිරිසිදු තේ හැන්දකින් හැඳි එක බැගින් බීජ දමා එවෙලේම කට නැවත වසන්න. මෙහිදී වාතයේ පාවෙන හෝ ඔබේ දෑත් වල ඇති අපද්‍රවය කිසිවක් මිශ්‍ර වීම වැලැක්විය යුතුය. ඒ ඒවා තුල වෙනත් දිලීර ඇති නිසයි. මේ වැඩේට කියන්නේ ආමුකූලනය කියලා. - ආමුකූලනය කල උර අඳුරු තැනක (මේසයක් යට, කබඩ් එකක…) තිරස් අතට එක මත එක ගොඩගසා තබන්න.
- කීප දිනකින් බැලූ විට මාධ්‍යය පුස් කෑම ආරම්භ කර ඇති ආකාරය දැකගත හැක. දැන්ක කට මදක් බුරුල් කර යම් සුළු වායු සංසරණයක් වීමට ඉඩ දෙන්න. ගොඩක්ම අරින්න එපා.

- මාස එක හමාරකින් පමණ සියල්ල පුස් කයි. එවිට මලු වල කට විවෘත කර සිසිල්, තෙත් වාතාශ්‍රය හා ආලෝකය ලැබෙන තැනක තබන්න.


- කාලගුණය වියලි නම් උදේ හවස වතුර ස්ප්‍රේ කරන්න. මලු තුල වතුර එකතු වීමට ඉඩ නොදිය යුතුය.
- සතියකින් පමණ හතු පිපේ. හොඳින් පිපුන විට කතුරකින් මුලින්ම කපා ගන්න. නැවත දින කීපයකින් පිපේ. මාස කීපයක් අස්වැන්න නෙලා ගත හැක.